රුසියානු – යුක්රේන් යුද්ධය හමුවේ ලංකාවේ සහය කාටද? 

ස්වාධින රටක් ලෙස ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක, කිසිම රටකට යුද්ධයකදී සහයෝගය ලබාදීමට සූදානම් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ යුද්ධය හමුවේ 30 අවුරුද්දක් පීඩා විදි රටක් ලෙසත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් තුරන් කරමින් මිනිසුන්ට නිදහස් හුස්මකට උරුමකම් කීමට අයතිය ලබාදුන් රටක් ලෙසත් නම් දරා ඇති වත්මන් රජය ලේ වැගරීම්වලට සහය ලබාදීම කිසිදු විටක අනුමත කරන ක්‍රියාවලියක් නොවන බවයි.

රුසියානු, යුක්රේන් යුද්ධය හමුවේ ඉදිරියෙදී කුමන හෝ රටකට වත්මන් රජය යුධ සහය ලබා දීමට සූදාන්මව සිටීද යන්න අප කළ විමසීමේදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස කියා සිටියා.

අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සිදු වෙනවා වගේම කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකාව ලබා දෙන්න පුලුවන් දායකත්වය උපරිම මට්ටමින් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ඒ හින්දා අපිට රටක් හැටියට හුදකලාව ආර්ථිකය ශක්තිමත් කරන්නත් ආරක්ෂාව ශක්තිමත් කරන්නත් හුදකලාව කටයුතු කරන්න බෑ.

ලෝකයේ අනිත් රටවල් සහ විශේෂයෙන්ම අසල්වාසී කලාපීය රටවල් සමග අපි සුහදව අත් වැල් බැදගෙන කටයුතු කරන්න ඕනේ.

අන්න ඒ හින්දා රටේ ආරක්ෂාව වගේම කලාපීය ආරක්ෂාව තහවුරු කරද්දි ශ්‍රී ලංකාවට වැදගත් කාර්යය භාරයක් ඉටු කරන්න තියෙනවා. අපි ඒ වගතීම ඉටු කරනවා.

ස්වාධින රටක් ලෙස ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක, කිසිම රටකට යුද්ධයකදී සහයෝගය ලබා දීමට සූදානම් නෑ.

අපි යුද්ධය වින්දිතයෝ. අපි රටක් හැටියට දැක්කා සාමාන්‍ය ලෙස ත්‍රස්තවාදයට උඩගෙඩි දීපු සමහර රටවල් තිබ්බා.

සමහර දේශපාලන කදවුරු අපේ රට තුළත් තිබ්බා. අපේ රටින් බැහැරවත් තිබ්බා. ඒ හින්දා යුද්ධයක් වෙනුවෙන් සහයෝගයක් කිසිම කෙනෙකුට අපි දක්වන්නේ නෑ.

අපි රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන රටක්. අපි ස්වාධීනව කටයුතු කරන රටක්. අපි රටේ සහ ලෝකයේ සාමය වෙනුවෙන් සෑම අවස්තාවකය පෙනී සිටින රටක්. ඒ හින්දා එක රටකට විරුද්ධව තවත් රටකට පෙනී හිටීම අවශ්‍යතාවයක් අපට රටක් හැටියටත් ප්‍රතිපත්තියක් හැටියටත් නෑ.

Leave a comment

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept